කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාගේ මතයට එකඟ නොවීම වැඩ තහනමකට හේතුවක්ද ?
03/03/2022
ගරු ඩලස් අලහප්පෙරුම මහතා
ජනමාධ්‍ය අමාත්‍ය
ජනමාධ්‍ය අමාත්‍යාංශය
කිරුළපන
කොළඹ 5
ගරු අමාත්‍යතුමනි,
කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාගේ මතයට එකඟ නොවීම වැඩ තහනමකට හේතුවක්ද ?
ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ ඩේලිනිවුස් පුවත්පතේ සම විශේෂාංග කර්තෘ සචිත්ර මහේන්ද්‍ර මහතා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකි
2022 මාර්තු 01 දාතම සහිතව ලේක් හවුස් මානව ප්‍රාග්ධන ප්‍රධානී ගේ අත්සනින් යුත් ලිපියක් මගින් ඔහු වැඩ තහනමකට ලක් කර ඇත. මෙකී සේවා අත්හිටුවීම තුළින් ඔහුගේ වෘත්තීයමය අයිතිවාසිකම් පාලනාධිකාරිය විසින් හිතාමතා කඩකර ඇති බව අප සංගමයේ විශ්වාසයයි. සේවය අත්හිටුවීමට හේතු වූ නිශ්චිත කරුණු මොනවාද යන්න සඳහන් නොකිරීම ද විමතියට කරුණකි.
අනපේක්ෂිත ලෙස මෙවැනි තත්ත්වයකට මාධ්‍යවේදියෙකු පත්කරලීම තුළින් ඔහුගේ සහ ආයතනයේ අනෙකුත් මාධ්‍යවේදීන්ගේද මාධ්‍ය නිදහසට ආයතන පාලනාධිකාරිය විසින් බරපතල තර්ජනයක් එල්ලකොට ඇති බව අප සංගමයේ අදහසයි.
මේ සම්බන්ධයෙන් සචිත්ර මහේන්ද්‍ර මහතා අප සංගමය වෙත යොමුකර ඇති ලිපිය සහ ඒ සමග ඇමුණුමේ ඇති සේවය අත්හිටුවීමේ ලිපිය ද මේ සමග ඔබගේ දැනගැනීම සඳහා යොමු කරමු. ඔහු විසින් අප සංගමයට එවූ ලිපිය අනුව මෙම වැඩතහනමට ආසන්නම හේතුව ලෙස කර්තෘ මණ්ඩල අධ්යක්ෂ වරයාගේ මතය පිළිනොගැනීම බව අප හට හැඟීයයි. මේ මගින් ඔහුගේ වෙනස් මත දැරීමට ඇති අයිතිය සහ භාෂණයේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බව පැහැදිලිය.
මේ පිළිබඳව ඔබගේ කඩිනම් අවධානය යොමුකර සචිත්ර මහේන්ද්‍ර මහතාට සාධාරණය ඉටුකර දී නැවත සේවයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සඳහා මැදිහත් දායකත්වය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි,
දුමින්ද සම්පත් ෆ්රෑන්ක් ද සොයිසා
සභාපති ලේකම්
පිටපත් : ගරු නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු අමාත්‍ය, කම්කරු අමාත්‍යාංශය
ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න මහතා, සභාපති සහ කළමණාකාර අධ්යක්ෂ, ලේක් හවුස්
සචිත්ර මහේන්ද්‍ර මහතා