01.04.2022
ඩලස් අලහප්පෙරුම මහතා
ජනමාධ්‍ය අමාත්‍ය,
ජනමාධ්‍ය අමාත්‍යාංශය,
කිරුළපන – කොළඹ 05.
අමාත්‍යතුමනි,
මාධ්‍යවේදීන්ට සහ නිරායුධ ජනතාවට අමානුෂික ලෙස පහරදීම හෙළාදකිමු !
රට තුළ උද්ගතවී ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව 2022 මාර්තු 31 දින නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ සිදුකළ උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සහ උද්ඝෝෂණයේ යෙදුනු නිරායුධ ජනතාවට පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් සිදුකළ අමානුෂික පහරදීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකියි.
මෙම අත්අඩංගුවට ගැනීම් සහ පහරදීම් මහජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමට ඇති අයිතියට මෙන්ම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට එල්ල කරන ලද බරපතල අනතුරු හැඟවීමක් වන අතර ඒ මගින් සිදුකරන්නේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන විසින් මහජනතාව වෙත ගෙන යා යුත්තේ රජයට හිතකර පුවත් පමණක් බව අවධාරණය කිරීමද යන බරපතල සැකය මතුවී ඇත.
චතුර දේශාන්, අවංක කුමාර, නිසල් බදුගේ, වරුණ වන්නිආරච්චි, එම්. ඒ. පුෂ්පකුමාර, නිශ්ශංක, සංජීව ගාල්ලගේ, ප්‍රදීප් සංජීව, සුමේධ සංජීව, ප්‍රදීප් වික්‍රමසිංහ සහ සුලෝචන ගමගේ යන මාධ්‍යවේදීන් මෙසේ පහරකෑම් වලට ලක්වී ඇතිබව මේ වනවිට තහවුරු වී ඇති අතර, ඇතැම් මාධ්‍යවේදීන් තවමත් රෝහල්ගතව ඇත. මාධ්‍යවේදීන් බව තහවුරු කිරීමෙන් පසුවද පොලිසිය සහ ආරක්ෂක අංශයෙන්යැයි කියාගත් පිරිසක් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් මාධ්‍යවේදියෙක් ජීප් රථයක නංවාගෙන ගොස් පහරදී නැවත මිරිහාන පොලිස් ස්ථානයට ගෙනවිත් භාරදී ඇතැයිද දැනගන්නට ලැබී ඇත.
මින් පෙර බොහෝ අවස්ථාවලදී මාධ්‍යවේදීන්ට රජයේ අනුග්‍රහය ලබන පිරිස් විසින් සිදුකරන විවිධ හිංසන පිළිබඳව ජනමාධ්‍යය විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබව දැනුවත් කර එවැනි දේ නැවත සිදුවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මැදිහත්වෙන ලෙස ඉල්ලා සිටියද, ඒ පිළිබඳව මෙතෙක් ක්‍රියාත්මක නොවීම මත දිගින් දිගටම මාධ්‍යවේදීන් හිංසනයට ලක්වෙන බව අප සංගමය තරයේ විශ්වාස කරන අතර, මෙම අවස්ථාවේදීවත් මාධ්‍යවේදීන්හට පහරදුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර, අප සහෝදර මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටුකරදීමට මැදිහත්වෙන ලෙස ඉල්ලාසිටිමු.
දුමින්ද සම්පත් ෆ්රෑන්ක් ද සොයිසා
සභාපති ලේකම්