Training work shop on media ethics for youth and women journalists
Sri Lanka Working Journalist Association (SLWJ) conducted the second training workshop on digital media workshop for young and women journalists in collaboration with the International Federation of Journalists ( IFJ) at Nippon, Company Street, Colombo, on 24-25 September 2022.
Senior journalists, deputy editor, and news editor of Aninddha newspaper conducted the evening session on media ethics.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ජාත්‍යන්තර ජනමාධ්‍ය ෆෙඩරේෂණයේ අනුග්‍රහයෙන් පවත්වන ඩිජිටල් මාධ්‍ය පිළිබඳ තරුණ සහ කාන්තා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දෙවන දෙදින වැඩමුළුව සැප්තැම්බර් 24-25 කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි නිපෝන් හෝටලයේදී පැවැත්වුණා.
ප්‍රථම දිනයේ සවස් වරුවේ දේශනය මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව පැවැත්විණි.
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සහ ප්රවෘත්ති කර්තෘ ලසන්ත රුහුණගේ එම දේශනය පවත්වන ලදි.





තරුණ සහ කාන්තාව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන් සංගමය මගින් විද්‍යුත් ජන මාධ්‍යකරණය සම්බන්ධයෙන් තරුණ සහ කාන්තා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් අද (17) කොළඹ නිපොන් හෝටලයේ පැවැත්වේ .
මෙම වැඩමුළු සඳහා සම්පත් දායකත්වය සපයන්නේ ජාත්‍යන්තර ජන මාධ්‍යවේදීන් ගේ සංගමය මගින්ය.
අද පෙරවරුවේ විද්‍යුත් තක්ෂණය හා එහි නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අයි .සී .ටි. ආයතනයේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂක චානුක වත්තේගම සහ සමාජ මාධ්‍යයේ මුලා කිරීම සහ එවා හදුනා ගැනීම, කතා පිටු දැකීම ,වැරැදි තොරතු යනු මොනවාද ? වැරැදී තොරතුරු ඇති වන මුලාශ්‍ර යන මැයෙන් ආචාර්ය ප්‍රසාද් පෙරේරා යන අය දේශන පැවැත්වුහ.










Digital media workshop for young and women journalists
Sri Lanka Working Journalist Association (SLWJ) conducted the second training workshop on digital media workshop for young and women journalists in collaboration with the International Federation of Journalists ( IFJ) at Nippon, Company Street, Colombo on 24-25 September 2022.
Workshop counducted by Dr Prasad Perera
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ජාත්‍යන්තර ජනමාධ්‍ය ෆෙඩරේෂණයේ අනුග්‍රහයෙන් පවත්වන ඩිජිටල් මාධ්‍ය පිළිබඳ තරුණ සහ කාන්තා ජනමාද්‍යවේදීන් දැනුවත් කිරීමේ දෙවන දෙදින වැඩමුළුව සැප්තැම්බර් 24-25 කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි නිපෝන් හෝටලයේදී පැවැත්වුණා.
ප්‍රථම දිනයේ දී ආචාර්ය ප්‍රසාද් පෙරේරා වැඩ මුළුව ආරම්භ කළේය.











Digital Media Workshop, Comments from journalists – VIDEO
Sri Lanka Working Journalist Association (SLWJ) conducted a training workshop on digital media workshop for young and women journalists in collaboration with the International Federation of Journalists ( IFJ) at Nippon, Company Street, Colombo on 17-18 September 2022. One of journalists expresses his opinion about the workshop.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ජාත්‍යන්තර ජනමාධ්‍ය ෆෙඩරේෂණයේ අනුග්‍රහයෙන් පවත්වන ඩිජිටල් මාධ්‍ය පිළිබද තරුණ සහ කාන්තා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ පළමු දෙදින වැඩමුළුව සැප්තැම්බර් 17-18 දින ප්‍රථම දිනය අද කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි නිපෝන් හෝටලයේදී පැවැත්වුණා.
තරුණ හා කාන්තා මාධ්‍යවේදීන් සඳහා ඩිජිටල් මාධ්‍ය වැඩමුළුවක්
ශ්‍රී ලංකා, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJ) ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) සමඟ එක්ව තරුණ හා කාන්තා මාධ්‍යවේදීන් සඳහා ඩිජිටල් මාධ්‍ය වැඩමුළුවක් කොළඹ නිපොන් හෝටලයේදී පවත්වයි.
ආචාර්ය ප්‍රසාද් පෙරේරා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශකයා වේ.
ICTA ආයතනයේ ප්‍රතිපත්ති අධ්යක්ෂ චානුක වත්තේගම මහතා විසින් ඩිජිටල් මාධ්‍ය සඳහා අදාළ වන ශ්‍රී ලංකාවේ නීති සහ නියාමන පරිසරය පිළිබඳ දේශනයක් පවත්වන ලදී.
ප්‍රසාද් මහතා විසින් ඩිජිටල් මාධ්‍යයේ සියලුම අංශ ආවරණය වන පරිදි පුහුණු පාඨමාලාව පහත පරිදි පවත්වන ලදී.
සමාජ මාධ්‍ය සඳහා රැවටීම හඳුනා ගැනීම සහ කටකතා ඉවත් කිරීම. අසත්‍ය තොරතුරු යනු කුමක්ද ? ව්‍යාජ ප්රවෘත්ති සහ වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කරන්නේ කෙසේද ? පුවත් සහ සමාජ මාධ්‍ය ඇල්ගොරිතම.
AI bots කවදා හෝ මාධ්‍යවේදීන් ගේ තැන ගනියි ද ? ප්‍රචාරණය, ක්ලික්බයිට් සහ කුමන්ත්‍රණ න්‍යාය. සමාජ ඉංජිනේරු විද්‍යාව සහ වෛරස්, Viruses, malware, worms, trojans, ransomware, and spyware. මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට VPNs.
පුවත්පත් කලාවට තොරතුරු ආරක්ෂාව අවශ්‍ය ඇයි? ඩිජිටල් අනන්‍යතාවය යනු කුමක්ද ? පුවත්පත් කලාව සහ සමාජ සෙවීම. Google පුවත් කර්මාන්තයට සහාය දක්වන ආකාරය.
ඔවුන් ඔබව නරඹමින් සිටී, ඔබේ දත්ත කොහිද ? ඔබගේ දත්ත ආරක්ෂා කරන්න. දත්ත කාන්දුවීම් සහ නීතිය. මාධ්‍යවේදියෙකු ලෙස අන්තර්ජාලය ඔස්සේ ආරක්ෂිතව සිටින්නේ කෙසේද ?


















තරුණ ඩිජිටල් මාධ්‍යවේදීන්ට වැඩමුළුවක්
ඩිජිටල් මාධ්‍යයේ නියුතු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය හැකියාවන් සහ වගවීම් වැඩි දියුණු කිරීම සඳහා වන ජනමාධ්‍ය වැඩමුළුව
ඔබ,
ඩිජිටල් මාධ්‍යකරණයේ නියුතු, වයස අවුරුදු 35 ට අඩු තරුණ මාධ්යවේදියෙක්හෝ මාධ්‍යවේදිනියක් නම් මේ සඳහා ඉල්ලුම් කළ හැක.
මෙම වැඩමුළුව ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ – Asia Pacific) අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA – Sri Lanka Working Journalist Association) විසින් සංවිධානය කරයි.
වැඩසටහන් විස්තරය:
මෙම පුහුණු වැඩටසහන යටතේ, ඩිජිටල් ජනමාධ්‍යකරණයේ නියුතු වයස අවුරුදු 35 අඩු තරුණ ජනමාධ්‍යවේදීන් සඳහා ඩිජිටල් ජනමාධ්‍යයේ අයිතීන් සහ වගවීම් පිළිබඳ දෙදින නේවාසික පුහුණුවක් ලබා දේ.
වැඩසටහනේ පසුබිම සහ අරමුණ:
ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලනික,සාමාජීය සහ ආර්ථිකමය තත්වයන් නිදහස් මාධ්‍යයට විශාල වශයෙන් බලපෑමක් සිදු කර ඇත. 2022 මාර්තු අග සිට මේ දක්වා අවම වශයෙන් ජනමාධ්‍යවේදීන් 15 දෙනෙකු පහර දීමට හෝ බිය වැද්දීමට ලක්කර ඇත.
මේ පිළිබඳව පර්යේෂණ සිදු කළ ජාත්‍යන්තර ආයතනවල වාර්තා අනුව තහවුරු වී ඇත්තේ දණ්ඩ මුක්තිය, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට හිතකර ප්‍රතිපත්ති නොමැති වීම, සේවයේ නියුතු ආයතන වල සහයෝගය අවම වීම, අදාල ජනමාධ්‍ය භාවිතාවන් පිළිබඳ පුහුණුවක් නොමැති කම ආදිය මේ තත්වය ඇති වීමට හේතු වී ඇති බවයි.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන වල ඩිජිටල් වේදිකාවන් සඳහා තරුණ ජනමාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් අන්තර්ගතයන් නිෂ්පාදනය කරමින් සිටී. එහෙත් ඔවුන් ඩිජිටල් මාධ්‍ය ක්‍රේෂ්ත්‍රයේ ගෝලීය වශයෙන් පිළිගත් වෘත්තීය ආචාර ධර්ම ප්‍රමාණවත් ලෙස අනුගමනය නොකරණ බව පෙනී යයි.
බොහෝ තරුණ මාධ්‍යවේදීන් ඩිජිටල් මාධ්‍ය හඳුනාගන්නේ ඉතා වේගවත් ලෙස ප්රවෘත්ති ජනගත කිරීමේ මාධ්‍යයක් ලෙසයි. බොහෝවිට අන්තර්ගතයන් ගේ නිරවද්‍යතාව පරික්ෂා නොකිරීම නිසා ව්‍යාජ සහ නිවැරදි නොවන තොරතුරු ඩිජිටල් මාධ්‍ය වල ප්‍රකාශය වීම දක්නට ලැබේ.තවදුරටත් සිදු කළ අධ්‍යයනයන් මගින් හෙළි වී ඇත්තේ,කරුණක්.
වී ඇත්තේ පුරුෂ මූලික මාධ්‍ය පරිසරය තුළ කාන්තා මාධ්‍යවේදීන්ගේ හඬ යටපත් වී ඇති බව, සීමා වී ඇති බව හෝ අඩු වී ඇති බවයි.
මේ පසුබිම තුළ ඩිජිටල් ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය සඳහා දියුණු තත්වයට පත් කිරීමේ අරමුණින් විධිමත් පුහුණුවක් ලබා දීමට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදී් සංගමය අපේක්ෂා කරයි.
සුදුසුකම්:
දැනට ඩිජිටල් ජනමාධ්‍යවේදයේ නියුතු ( වෙබ් අඩවි, යූටියුබ්, මුහුණු පොත ආදී සමාජ මාධ්‍ය) වයස අවුරුදු 35 ට පිරිමි සහ කාන්තා ජනමාධ්‍යවේදීන් මේ සඳහා තෝරා ගනු ලැබේ.
ඉල්ලුම් කිරීම:
ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල අයදුම්පත ලබා ගත හැකිය. එය පුරවා පහත විද්‍යුත් ලිපිනයට එවිය යුතුය.
ඉල්ලුම් පත්‍ර යොමු කිරීම: slworkingjournalist@gmail.com
ඉල්ලුම් කිරීමේ අවසාන දිනය: 2022 සැප්තැම්බර් 01
තෝරා ගැනීම:
දින දෙකක නේවාසික පාඨමාලා දෙකක් පැවැත්වෙන අතර ඉල්ලුම් කරුවන් එක් පාඨමාලාවක් සඳහා සුදුසුකම් ලබනු ඇත. තෝරාගත්/නොගත් බව දැනුම් දීම : 2022 සැප්තැම්බර් 05
පළමු පාඨමාලාව: 2022 සැප්තැම්බර් 17-18
දෙවන පාඨමාලාව: 2022 සැප්තැම්බර් 24-25
වැඩි විස්තර:
මේ පිළිබඳව වැඩිවිස්තර සඳහා ව්‍යාපෘති සම්බන්ධිකාරක: අතුල දිසානායක (0773404838)
QR කේතය යටතේ ජනමාධ්‍යවේදීන්ට ඉන්ධන ලබා ගැනීම සම්බන්ධවයි.
12.08.2022
කාංචන විජේසේකර මහතා,
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය,
විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය,
නො. 72, ආනන්ද කුමාරස්වාමි මාවත,
කොළඹ 07.
හිතවත් අමාත්‍යතුමනි,
QR කේතය යටතේ ජනමාධ්‍යවේදීන්ට ඉන්ධන ලබා ගැනීම සම්බන්ධවයි.
පසුගිය කාලයේ පැවැති ඉන්ධන අර්බුධය හමුවේ පිරවුම්හල් අසල මහජනතාව විශාල ලෙස ඒකරාශී වීම සහ ඒ හේතුවෙන් ඇතිවූ ගැටුම්කාරී වාතාවරණයන් සමථයකට පත්කිරීම උදෙසා ඔබ අමාත්‍යාංශය මගින් QR කේත ක්‍රමය හඳුන්වාදීම පිළිබඳව පළමුකොට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ස්තුතිය පළකරන්නෙමු.
මෙසේ QR කේතයට අනුව ඉන්ධන ලබාදීම ඉතා ප්‍රායෝගික මෙන්ම සාර්ථක ක්‍රමයක් වුවත්, තම රාජකාරි කටයුතු සඳහා යතුරුපැදි සහ ත්‍රී රෝද රථ භාවිතාකරන බහුතරයක් ජනමාධ්‍යවේදීන්ට සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පෙන්වාදීමට කැමැත්තෙමු. විශේෂයෙන් දිවා රෑ නොබලා වාර්තාකරණයේ යෙදෙන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ආවරණ කලාපය ඉතා විශාලවන බැවින් ඔවුන්හට සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කණගාටුවෙන් දන්වා සිටිමු. ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් තම වාර්තාකරණ කටයුතු පූර්ණ ලෙස ඉටුකිරීමට බොහෝ මාධ්‍යවේදීන් අපොහොසත් වී ඇත.
මෙම කරුණු සලකා බලා, මාධ්‍යවේදීන්හට සතියකට නිකුත් කරන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් පරිදි වැඩි කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන මෙන් ඉල්ලා සිටිමු. මෙසේ වැඩි ඉන්ධන ප්‍රමාණයක් මාධ්‍යවේදීන් හට ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබ ගන්නා ක්‍රියා මාර්ගය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ද කෙරෙන සාධාරණයක් බව අප සංගමයේ අදහසයි.
ස්තුතියි,
දුමින්ද සම්පත් ෆ්රෑන්ක් ද සොයිසා
සභාපති ලේකම්
පිටපත : ප්රවෘත්ති සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා
තවදුරටත් ජනමාධ්‍යය මර්ධනයට,ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය හා පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය අහුරන්න ඉඩදෙන්නේ නෑ-දුමින්ද සම්පත්
සටහන : ෆ්රෑන්ක් ද සොයිසා,
තවදුරටත් ජනමාධ්‍යය මර්ධනයට, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය හා පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය අහුරන්න ඉඩදෙන්නේ නෑ.
ආණ්ඩුවේ අනීතික අත් අඩංගුවට ගැනීම් සහ මාධ්‍ය මර්ධනයට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් 2022-07-28 දින සංගම් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා එසේ පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ජනතාවගේ දැවෙන ප්‍රශ්ණ වලට විසඳුම් ලබා දීමට පැවති රජය අපොහොසත්වීම හේතුවෙන් ජනතාව තුළ ඇතිවූ පීඩනය අරගලයක් බවට පෙරළී, සාමකාමී ජන අරගලයක් ලෙස ගෝල්ෆේස් පිටියේ ස්ථාපිත වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අගමැතිවරයා ප්රමුඛ ඇමති මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවූ අතර 69 ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයාට සිය තනතුර අතහැර රටින් පළායෑමටද සිදුවූ බවය.
ඉන්පසු ඇතිවුණ ව්‍යවස්ථාමය තත්ත්වයන් මගින් නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු රාජ්‍ය මර්ධනය ජනතාව මත මුදාහරිමින් අනීතික ලෙස පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම් සහ පහරදීම් සිදුවෙන බවත්, ඒවා වාර්තාකරණයේ යෙදී සිටින මාධ්‍යවේදීන්, විශේෂයෙන් නව මාධ්‍යය භාවිතාකරන මාධ්‍යවේදීන් ඉතා දරුණු ලෙස හිරිහැරයට ලක්වෙන බවත් දුමින්ද සම්පත් මහතා තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා චෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සැමවිටම මේ රටේ ප්රජාතන්ත්රවාදය, ජනමාධ්‍ය නිදහස සහ පුරවැසියන්ගේ ප්රකාශනයේ හා භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි බවත් ඒ හේතුවෙන් සංගමයේ හිටපු නිළධාරීන්ට අනේක විධ දුක් ගැහැට වලට මුහුණදීමට සිදු වූ බවත් බොහෝ දෙනෙක් රට හැර යන තත්ත්වයට පත් වූ බවත් පැවසූ සභාපතිවරයා, මාධ්‍යය මර්ධනය ඉතා දරුණු ලෙසින් සිදුවෙන මේ මොහොතේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය හරහා ආණ්ඩුවේ අනීතික ක්‍රියාවන් පිළිබඳව ලෝකය දැනුවත් කිරීමටත්, ඒ හරහා ජනමාධ්‍යවේදීන්ට හා රටේ පුරවැසියන්ට සාධාරණය ඉටුකිරීමට අවශ්‍ය සියළු මැදිහත්වීම් සිදුකරන බවත් පැවසීය.
සංගමයේ ජාතික සංවිධායක ශාන්ත විජේසූරිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ රාජපක්ෂ රෙජීමය රට පාලනය කරන අවධියේ යුද්ධයට මුවා වී උතුරේ ජනතාව මෙන්ම ජනමාධ්‍යවේදීන් විශාල වශයෙන් ඝාතනයට ලක්වූ බවය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම, පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් පහරදීම වැනි සිදුවීම් සෙවීමට පරීක්ෂණ පැවැත්වීම සඳහා කොමිසම් පත්කළත් එම සිදුවීම් වලට වගකිවයුතු හමුදා නිළධාරීන්ට හෝ දේශපාලනඥයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත්, රාජපක්ෂ ආණ්ඩු කාලයන් තුළ සිට මිනිසුන්ගේ සිත් තුළ කැකෑරුණු විරෝධය විසින් මේ රටේ විධායක ජනාධිපතිවරයෙකු ගෙදර යැවූ බවත් ඔහු පැවසීය.
පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුදාව යොදවා අරගල භූමියේ සිටි ආබාධිත සෙබලුන්, ආබාධිත පුරවැසියන්, කාන්තාවන්, දරුවන් සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට පහර දුන් බවද, එසේ පහරදුන් සෙබළුන් අතර පැරා මිලිටරි කණ්ඩායමක් සිටි බවට බරපතල සැකයක් මතුවී ඇති බවද හෙතෙම පැවසීය.
ගාළු මුවදොර අරගලය ලෝක ඉතිහාසයේ මෙතෙක් පැවති ඉතාම අවිහිංසක අරගලය වන අතර, අරගල කරුවන් ඉල්ලා සිටින ‘ක්රමයේ වෙනස’ සිදුකිරීමෙන් මෙම ප්‍රශ්ණය නිරාකරණය කරගත හැකි බවද ශාන්ත විජේසූරිය මහතා පැවසීය.
සංගමයේ භාණ්ඩාගාරික ටී. නඩරාසා මහතා දමිල බසින් මාධ්‍යය හමුව ඇමතූ අතර, කමිටු සාමාජික අසන්ත බණ්ඩාර මහතාද මේ අවස්ථාවට එක්විය.
ඡායාරූප : සජිත්
ගෝල්ෆේස් නිරායුධ අරගලකරුවන්ට සහ ජනමාධ්‍යවේදීන්ට සන්නද්ධ හමුදා යොදවා පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.
2022.07.22
කොළඹ.
මාධ්‍ය නිවේදනය
ගෝල්ෆේස් නිරායුධ අරගලකරුවන්ට සහ ජනමාධ්‍යවේදීන්ට සන්නද්ධ හමුදා යොදවා පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධූරයේ දිවුරුම් දී පැය 48ක් ගතවන්නටත් මත්තෙන් ගෝල්ෆේස් නිරායුධ අරගලකරුවන්ට සන්නද්ධ හමුදා යොදවා පහර දී ඇත. එම පහරදිම් වාර්තාකරණය සදහා ගෝල්ෆේස් අරගල භූමියට යමින් සිටි සහ අරගල භුමිය තුළ සිට දෙස් විදෙස් මාධ්‍යය සදහා වාර්තාකරණයේ යෙදෙමින් සිටි ජනමාධ්‍යවේදීන් ට දරුණු ලෙස පහරදීම පිළිබඳව අප සංගමයේ දැඩි විරෝධය පළකරමු.
දැඩි ආර්ථික අර්බුදයක ගැලීසිටින තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව විදේශීය සහාය පතමින් සිටින මොහොතක, ආණ්ඩුවේ මෙවැනි ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියා කලාපයන් මගින් රට තවදුරටත් ගොඩ ගත නොහැකි ආගාධයකට ඇද දමමින් තිබේ. විශේෂයෙන් නිදහස් මාධ්‍යය වාර්තාකරණයකට කුමණ තත්ත්වයක් යටතේ වුවද ඉඩ කඩ තිබිය යුතු බව අප සංගමයේ අදහසය. ගෝල්ෆේස් අරගල භුමිය තුළ අද (22) අළුයම සිට එවැනි තත්ත්වයක් නොතිබූ බව අප සංගමයේ නිරීක්ෂණය වේ. දෙස් විදෙස් මාධ්‍යය සදහා තොරතුරු සපයන මාධ්‍යවේදීන් තම අනන්‍යතාවය තහවුරු කරමින් සිටියදී පවා ආරක්ෂක අංශ ඔවුනට පහරදීමෙන් සහ පැහැරගෙන යාම් හරහා පෙන්නුම් කරනුයේ රනිල් වික්‍රමසිංහ පාලනයද ජනමාධ්‍යය නිදහස අමු අමුවේම තලාපෙලා දමන බවය.
ප්රජාතන්ත්රවාදී රටක තොරතුරු දැන ගැනීමේ අයිතිය පුරවැසියනට තිබිය යුතුය. එම අයිතිය වඩාත් සුරක්ෂිත වනුයේ ජනමාධ්‍යවේදීන්ට නිදහසේ තම වාර්තාකරණය කළ හැකි පරිසරයක් පවතිනතාක් පමණි. එම පරිසරය රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ලෙස පත්ව පැය 48 ක් ගතවන්නටත් මත්තෙන් බිඳ හෙලීම තුළ , මෙරට ජනමාධ්‍යවේදීන්ට සිහිගැන්වනුයේ රාජපක්ෂ පාලන සමයන්හිදී සිදුකළ මාධ්‍යය මර්ධනය , මාධ්‍යවේදීන් ඝාතනය, පැරගෙනයාම, වද හිංසා පැමිණවීම, මාධ්‍යය ආයතන ගිණිතැබීම ඇතුළු මාධ්‍ය කෙරෙහි එල්ල කළ භීෂණයයි.
ආරක්ෂක අංශ සහ පොලීසියේ පහරදීම් හේතුවෙන් මේ වනවිටත් කසුන් කුමාරගේ (වෙබ් මාධ්‍යවේදී – ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය) සහ චතුරංග ප්‍රදීප් කුමාර (එක්ස්පෝෂර් වෙබ් අඩවිය) යන ජනමාධ්‍යවේදීන් දෙදෙනා ජාතික රෝහලට ඇතුලත් කර ඇත. මීට අමතරව රසික ගුණවර්ධන සහ ෂබීර් මොහොමඩ් (වෙබ් මාධ්‍යවේදීන් – එක්ස්පෝෂර් වෙබ්) ද පහරකෑමට ලක්වී ඇති අතර, බීබීසී මාධ්‍යවේදී ජරීම් සැමුවෙල් ආරක්ෂක අංශයන්හි තර්ජනයන්ට ලක්වී ඇත.
ආණ්ඩුවේ මෙම මාධ්‍යය මර්ධනය ට එරෙහිව ජාතික සහ ජාත්‍යන්තරව අප සංගමයට කළ හැකි සියළු මැදිහත්වීම් සිදුකරන බවත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට අත නොතබන ලෙසත් දැඩිව පවසන්නෙමු.
දුමින්ද සම්පත් ෆ්රෑන්ක් ද සොයිසා
සභාපති ලේකම්
සිරස මාධ්‍යවේදීන්ට සිදුකළ අමානුෂික පහරදීම හෙළාදකිමු !
09.07.2022
කොළඹ
මාධ්‍ය නිවේදනය
සිරස මාධ්‍යවේදීන්ට සිදුකළ අමානුෂික පහරදීම හෙළාදකිමු !
2022.07.09 දින (අද) අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල වාර්තාකරණයේ යෙදෙමින් සිටි සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන්හට ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ අමානුෂික පහරදීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකියි.
මෙසේ පහරකෑමට ලක්වූ මාධ්‍යවේදිනී සරසි පීරිස් ඇතුළු ජනිත මෙන්ඩිස්, වරුණ සම්පත්, ජේ. සින්තුජන්, කාලි මුත්තුචන්ද්රන් සහ ජානුක වීරකෝන් යන මාධ්‍යවේදීන් මේ වනවිට රෝහල්ගත කර ඇති බවට තහවුරු වී ඇති අතර, මෙවැනි පහරදීම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර ඇති මහජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියටද එල්ලකරන බරපතල පහරක් බව අපගේ විශ්වාසයයි.
මින් පෙර බොහෝ අවස්ථාවලදීද වාර්තාකරණයේ යෙදී සිටින මාධ්‍යවේදීන්ට පොලිසිය සහ ආරක්ෂක අංශ වෙතින් සිදුකෙරෙන විවිධ හිංසන සහ පහරදීම් පිළිබඳව ජනමාධ්‍යය විෂය භාර අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කරමින් ඒවාට වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවා නිසි දඬුවම් ලබාදෙමින් එවැනි දේ නැවත සිදුවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මැදිහත්වෙන ලෙස ඉල්ලා සිටියද, ඒ පිළිබඳව මෙතෙක් ක්‍රියාත්මක නොවීම මත දිගින් දිගටම මාධ්‍යවේදීන් හිංසනයට ලක්වෙන බව අප සංගමය තරයේ විශ්වාස කරන අතර, මෙම අවස්ථාවේදීවත් ඉහත මාධ්‍යවේදීන්හට පහරදුන් පුද්ගලයින් වහාම අත් අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන මෙන් පොලිස්පතිවරයා ගෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටියි.
දුමින්ද සම්පත් ෆ්රෑන්ක් ද සොයිසා
සභාපති ලේකම්